Pages

Wednesday, April 8, 2020

හිසේ බර

හිසේ බර(කොරෝනා කාලේ සටහන්)

     මේ දිනවල ඔන්ලයින් ඇනවුම් කිරීම වඩා ප‍්‍රචලිතය. බඩු ලිස්ට් එක පොටෝ ගත කොට වයිබර් හෝ වට්ස්ඇප් කළ විට බඩු ගෙදරටම ගෙනැත් දෙනවා යැයි කියති. මගේ දුරතකනයේ එවැනි නොම්මර බොහෝ ප‍්‍රමාණයක් ගබඩා වී ඇත. එහෙත් අම්මාගේ හා තාත්තාගේ බෙහෙත් වට්ටෝරු කියූ පරිදි රාජ්‍ය ඔසුසලට වට්ස්ඇප් කොට දැන් දින 5කටත් වැඩිය. මාර්තු 31 ඇණවුම් කළ එය අද අපේ‍්‍රල් 5වත් ලැබුණේ නැත. දින 2ක් දුරකතනයෙන් විමසූ අතර එව්වෙ කවදා දැයි අසා ආ.. තාම පැක් කරනවා.. ලැබෙයි යනුවෙන් පැවසිණි. ඔවුන්ටද කාර්ය බහුල වන්නට ඇත. මෙසේ බෙහෙත් ඇණවුම් කර ඇත්තේ මා පමණක් නොව.. බොහෝ ඇත. ඒ සියල්ලද ඔවුන් පාර්සල් කොට බෙදා හැරිය යුතුය. අනිවාර්යෙන් කාර්ය බහුලත්වය මේ ප‍්‍රමාදයට හේතු වන්නට ඇත. නමුත් මා අම්මලාගේ බෙහෙත් ඉවර වන්නට පෙර වෙනත් පාමසියකින් මිලදී ගත්තාක් මෙන් හැමෝටම එසේ කරන්නට බැරි වන්නට ඇත. ඒවා ආයතනයේ ප‍්‍රායෝගික ගැටලූ වුවත් බෙහෙත් නැති රෝගියකුට මහත් ප‍්‍රශ්නයකි. 

     බෙහෙත් පිළිබඳ ප‍්‍රශ්නය රෝගියාටත් වඩා ඔවුන්ගේ දරුවන්ට මහත් පීඩනයකි. රෝහලක සේවය කරන මටත් එය මේ තරම් පීඩනයක් නම් අම්මලා තාත්තලාට බෙහෙත් ගෙනියන අනෙක් දරුවන් ගැන කවර කතාද? ඇඳිරි නීතිය ඉවත් කළ සැණින් පාමසිවල පෝලිම් දික් ගැසේ. රාජකාරියට යමින් පෝලිම්වල රැඳෙනු ද නොහැකිය. ඇඳිරි නීතියට පාමසි වසා දමනු ඇති. ඒ වෙලාවට විවෘත කර තිබුණා නම් නිදහස් වෙලාවක ඇවිත් පෝළිමේ නොසිට බෙහෙත් මිලදී ගත හැකිය. මිය ගිය ආච්චිගේ ක්ලිනික් පොතද ඇඳිරි නීති බලපත‍්‍රය වෙනුවට පෙන්වමින් අපේ මිනිස්සු එයද අවභාවිත කිරීම නිසා කලින් ලිහිල් කර තිබූ පාමසි විවෘත කිරීමේ නීතියද දැන් තද කොට ඇත.

     කෙසේ හෝ පළවෙනිදා ඇඳිරි නීතිය ලිහිල් කර යළි පනවන්නට විනාඩි පහක් තිබියදී රාජකාරිය විනාඩි දහයකට යාළුවෙකුට පවරා පෞද්ගලික පාමසියකින් අම්මාට හා තාත්තට  බෙහෙත් මාසයකට රැගෙන ආවෙමි. එය හිස මත වූ මහත් බරක් බිම තැබීමක් විය. 

ගැමුණු පී. දසනායක
2020-04

ප.ලි. ඇණවුම් කළ බෙහෙත් පාර්සලය අද එනම් 2020-04-09 පෙ.ව. 11.30ට මා අතටම ලැබිණි.

Monday, April 6, 2020

දානයට ලෑස්තිය

දානයට ලෑස්තිය(කොරෝනා කාලේ සටහන්)

    අම්මා ආත්තම්මාගේ දානය ලෑස්ති කරගෙන සිටියේ දහවෙනිදාටය. විවිධ හේතූන් නිසා එය පසුගිය අවුරුදු දෙකක කාලයේ හරිහැටි දී ගන්නට නොහැකි වීම නිසා අම්මා සිටියේ මහත් කනස්සල්ලෙනි. මෙවර එය තරමක් ඉහළින් කරන්නටය ඇගේ සූදානම වී තිබුණේ. එනම් පන්සලෙන් හාමුරුවන් ගෙදරට වඩම්මා දෙන සාංඝික දානයක් සඳහාය සැලසුම. 

    එහෙත් පවතින තත්වය හමුවේ එය වෙනස් වී තිබුණි. දහවල් දානය එදාට පන්සලට ගෙන ගොස් පූජා කිරීම දක්වා එය ලඝු විය. එයට අම්මාගේ හිතේ නම් තිබුණේ දුකකි. එහෙත් පවතින තත්වයට අනුගත වනවා හැරෙන්නට ඇයට වෙනත් විකල්පයක් ද නැත. 

    එදා මා ගෙදර යද්දී අම්මා දොර ජනෙල් රෙදි සෝදා වැලේ දමා තිබුණි. මාමා ලවා බිත්තිවල තීන්තද ගායි. වෙනදා ගෙදර උත්සවයකට සැරසෙන වටපිටාවය අදත් මේ කියා පාන්නේ. පවතින භයානක තත්වය පිළිබඳ වගක් නැති සේය. මීටරේ පරතර, මුඛවාඩම් පැත්තකවත් නැත. අවවාද දීම්, දැනුවත් කිරීම්, සංඛ්‍යාලේඛන ඉදිරිපත් කිරීම් ප‍්‍රතිපලදායක නොවද්දී තදින් කීම, දොස් නැගීම ආදියෙන් නතර නොවී තර්ජනය කිරීම දක්වා එය වර්ධනය විය. පසු දින යද්දී ගෙදර අය ඒවා පිළිගෙන තිබුණි. ඉස්සරහ දොර ළග සැනිටයිසර් දියර බෝතලයක් මෙන්ම ළිඳ ළග සබන් කෑල්ලක්ද තබා තිබිණි. 

     මා ගෙදර යන්නේ දින දෙක තුනකට වතාවකි. ඒ ගියද කතාව අවමය. ගේ ඇතුළට නොයමි. ඉස්තෝප්පුවට පමණක් මගේ ආගමනය සීමා විය. ආදර්ශය අවවාදයට වඩා උසස් වුවත් චූටිට නම් එය විහිළුවක් විය. මගේ රගපෑමක් විය. 

ගැමුණු පී. දසනායක
2020-04



එක්තරා පිස්සු කතාවක්.. (කෙටි කතා නිර්මාණයක්)

          මට පිස්සු. හරියටම කියනවා නම් ඩිප්‍රෙෂන්. ඒක හැදුණ දවසත් හැදුණ හැටිත් මට මතකයි. හැබැයි මං ඒක දැන්ම කියන්නෑ. පස්සෙ කියන්නම්. 
මොකක්... ඔය ඔය ඔය මට ඇහෙනවා උඹල මොනවද කියනවා. ඔව්... මට ඇහෙනවා.. පිස්සු නැතුව හිටහල්ල. මං තව ටිහකින් කියන්නම් ඒක.

            ඇස් වාට්ටුවට ගිහින් අවිදුර දෘස්ටිකත්වෙ හදා ගත්තම මං ආව ඩිරෙක්ටර් හම්බ වෙන්න. ඩිරෙක්ටර් කිව්වට පුටුව උඩ නවල තිබ්බෙ ගෑනියෙක්. ගෑනියෙක් කිව්වට ඩිරෙක්ටර් කෙනෙක්. හප්පා ඒකිට තිබ්බ වැඩ. අස්සන් කරනවා. කරනවා. මං දුන්න මගේ ලියුම. ඒකෙ තිබ්බෙ මට පිස්සු කියල. මට පිස්සු නිසා ස්ටෙ‍්‍රස් නැති යුනිට් එකක් දෙන්න කියල තමයි ඉල්ලූවෙ. මේකි වචන දහයෙ ලියුම කියෝනවා කියෝනවා කෙලවරක් නෑ. ඇස් උඩ යනවා. පහළ යනවා. මං හිතන්නෙ මේකිට පිස්සු. පිස්සෙකුට තවත් පිස්සෙක් මුණ ගැසීම ගැන මට ඇතිවුණේ සතුටක්. මේන් මේකි මගෙ දිහා පිිස්සුවෙක් වගේ බලන් ඉන්නවා. මගේ ඇස් පිච්චෙන්නත් වගේ. මගේ ඉහ ඉඳන් පාදාන්තෙටත් පාදාන්තෙ ඉදන් ඉහ මුදුනටත් ඇහැ කරකවන්න ගත්ත ඒ පාර. දැන්නම් ෂුවර් මේකිට පිස්සු . මට හරිම සතුටුයි. 
‘‘යුනිට් මාරු කරන්න.. උඹට පිස්සුද බං.. ’’
‘‘ඔව් මැඩම් මට පිස්සු.. හරියටම කියනවනම් ඩිප්‍රෙෂන්.’’
‘‘මේ මාත් මේ ඩිරෙක්ටර් පෝස්ට් එකට ආවෙ කැමැත්තෙන් නෙමේ. ඒත් අපි ඒකට හැඩ ගැහෙන්න  ඕන.. නැද්ද සුමනෙ..’’
එතෙන්ට කඩා වැදුණ පියන්ගෙන් මේන් ඩිරෙක්ටර් කෙනෙක් ඔපීනියන් ගන්නව. පෞද්ගලිකත්ව, සාරධර්ම කැලේ. මං පාෂානිභූත වුණා. යකෝ මෙච්චර ලව් එකක් මූ මේකිගෙ හොර මිනිහවද්ද කියල මට හිතුණ මෙහෙම ඔපීනියන් ගන්නෙ. 
‘‘සුමනේ මූට පිස්සු බන්. බලහන්කො ගල් වෙලා.. තව ටිකක් ඒසී වැඩි කරමු නේ..’’ 
පියනුත් හූ මිටි තියනව. මේකි පිස්සු හටනක්ම තමයි. නිලධාරියෙක් ගැන ගන්න  ඕන රාජකාරි තීරණ නිලධාරිය ඉස්සරහම පියන්ගෙන් අහනව.
මං ගල් ගැහිල එහෙමම හිටිය. ඒකි අරුත් එක්ක එකතු වෙලා මට ගල් ගහන්න ගත්ත. අම්මට හුඩු... එක පතුරක් වැදිල ශීර්ෂපෝෂී ධමනිය කැපුණත් එක්ක මං ආපහු පණ ගැහුව. පපුව ලබ් ඩබ් ගාල පටන් ගෙන සික්ස් එයිට් බීට් එකට මාරු වුණා.

             එහෙමම ටික ටික හදවත ඇවිදන් ආවා කැලැන්ඩරේ මාස උඩට. මාස හයක් ගෙවුණ තැන මං එතන හිටියෙ නිවාඩුවක් ඉල්ලන්න. ඉස්සර නම් නිවාඩු දැම්මෙ පොතක ලියල ලීව් චිට් එක පොත ඇතුලෙ දාලා. වැඬේ ඉක්මන් ටක් ගාලා ආවා. ඒත් මං එහෙම කරන්න හදද්දිම පියන් දුවන් ඇවිත් කිව්ව මැඩම් හම්බ වෙන්න. දැන් සිස්ටම් එක එහෙමලූ. මං ගියා කාමරේට. දේවතාවිය වැඩ හිටිය. මහා ෆයිල් එකක් කියෝනව. ඒක කියවල ඉවර වෙනකන් පැය බාගයක් විතර රස්තියාදු වෙවී මං එකත්පස්ව හිටයා.  ඕන් ඉන් පස්සෙ තව දෙතුන් දෙනෙක්ගෙ ප‍්‍රශ්න විසඳුව තලතා දේවි වගේ. 
‘‘මොකද..’’ 
ඒකි මාව අඳුර ගත්ත. 
‘‘මේ පිස්සු යකා ආපහු ඇවිත්’’ එයා කියා නොකයා කිව්ව. 
‘‘මැඩම් නිවාඩුවක්’’ 
මං ලීව් චිට් එක දික් කළා. 
‘‘කෝ පොත..’’ 
‘‘පොත නෑ..’’ 
‘‘පිස්සුද බං පොත අරන් වරෙන්..’’ 
එයා එහෙම කිව්වම මං එළියට ගිහින් ඒක කිව්වා පියන්ට.. ඌ එතන පිස්සු කෙළිනව.. ඔන්න ඔය තියෙන්නෙ කියල කිව්වෙත් නෑ. පොතට ඇඟිල්ල දික් කළා. මොනා කරන්ද පියන්ගෙ වැඩේ මමම කොරගෙන පොත උස්සන් ගියා මහාරානි ළඟට. පියන්ගෙ ලෙවල් එකට වැටිච්ච නිලධාරියා ගැන ඒකිට තිබ්බෙ හරි සතුටක්. කම්බුල් පින්පාටින් දිලිහෙනව. 
‘‘වෙනුවට වැඩ කරන කෙනෙක් මේකෙ අත්සන් කරලද..’’ 
‘‘ඔව් එරන්දතිය ඉන්නව කොළේ අනික් පැත්තෙ මං වෙනුවෙන්.’’ 
‘‘දිනේ දාලද..’’ 
‘‘ඔක්කොම පුරෝලද..’’ 
මට පිස්සු වගේ දැන්. ඒක අත්සන් කරල අනුමත කරනව වෙනුවට මේන් මෙයා වැරදි හොයනව ඇස් ඇවිද්ද ඇවිද්දව කොලේ පුරා.. 
‘‘හරී ...... අහු වුණා...’’
ඇයගේ සතුට ඉව වහා ගොස්ය.
‘‘උඹට නිවාඩු දෙන්න බෑ පිස්සෝ.. හොර ගෙඩියා.. උම්මා’’
ඇය මා පිස්සුවෙන් වගේ වැලඳගෙන කම්මුලට තොත්තුවක් දුන්නාය. 
‘‘කෝ ඔයාලගෙ අංශ බාර මැඩම් අත්සන් කරල නෑනෙ මෙතන. මැඩම්ට දැන්නුවද..’’ 
‘‘බැරි වුණා..’’ 
‘‘ඒකනේ.. දැන්ම ගන්න මැඩම්ට කෝල් එකක්..’’ 
‘‘පිස්සුද මැඩම්.. ඒක කරන්න බෑ. අපේ මැඩම් හිතයි මට පිස්සු කියල.. මේ දෙගොඩහරියෙ කෝල් ගද්දි  ඕක අහන්න.’’ 
‘‘එහෙනම් ඔය ලීව් චිට් එක රෝල් කරල ගහගන්න....’’ 
මම එය රෝල් කරා විතරයි. ගහගත්තෙ නෑ.. මට පිස්සු නෑ එහෙම ගහගන්න. නෑ.. නෑ... මට පිස්සු. හරියටම කියනවනම් ඩිප්‍රෙෂන්. 
මුන්ගෙ මේ පිස්සුව කොටහකට විතරයි. කොටසක් හිටිය පොතේ නිවාඩු ඉල්ලල... මෙයා තාම සයින් දාලා නැති. 
               හරි... මං හිතා ගත්තා ආයි කවදාවත් නීතියට අනුව නිවාඩු දාන්නෑ කියල. මාත් හොර විදියට නිකම්ම යනව. නිකන් මොකටද පැය ගණන් රස්තියාදු වෙවී, එක එකාගෙ අපහාස විඳ විඳ නිවාඩු දාන්නෙ. මුන්ගෙ අතින් පයින් දෙන නිවාඩුවක් වගේනෙ. මේ අවුරුද්දට එකම නිවාඩුවක්වත් ගත්තෙ නැති එකෙක් මීට පස්සෙ නිවාඩු නොගෙන ගැනීමට සම්පූර්ණ හේතුව මේ පත් වෙච්ච රස්තියාදුව. නීත්‍යනුකූල මිනිස්සුන්ට හොරකම් කරන්න පොලඹවන්නෙ මෙවන් කාලකණ්නිකම්ම තමයි. නොදෝකින් පිස්සු හටන්. අනික සිස්ටම් එකක් වෙනස් කරද්දි අත්තනෝමතික විදයට උන්ට ආතල් ගන්න විතරක් වෙනස් කරන්න බෑ. ඊට කලින් ඒ සිස්ටම් එක කි‍්‍රයාත්මක වෙන්න සම්පත්, ක‍්‍රමවේද තියෙනවද බලන්න  ඕන. ඒව පූරණය කරල ඉන්න  ඕන. දැන් මෙතන රස්තියාදු වෙන්න වුණේ එහෙම නිසි ක‍්‍රමවේදයක් සිස්ටම් එකේ නැති හින්දා. 

                  මං ලීව් චිට් එක දිග ඇරල ඒකේ ඇන්ද දොස්තර නලාවක්. පස්සෙ කොලේ චුයින්ගම් එකක් වගේ ඇදල නලාව ලොකු කර ගත්ත. ඒක කතුරෙන් කපල පස්සෙ පණ දුන්න. පස්සෙ මං ඒක කරේ දා ගත්ත.
‘‘මේ... මැඩම් ඔයාට එක එක්කෙනාගෙ කටහඬවල් ඇහෙනවද..’’ 
මං හිතුවෙ ඒකිට පියන්ගෙ කට හඬවත් ඇහෙනව කියයි කියල.
‘‘මැඩම්ට කවුරු හරි මරන්න හිතෙනවද.’’ 
‘‘නලාවක් මොකටද සයිකැස්ටි‍්‍රස් කෙනෙකුට’’ 
මං හිතුව වගේම මගේ පර්සනල් පයිල් එක අරන් ඒකි මට ගහන්න පැන්න. මං අහකට පැන්න. ඒක පියන්ගෙ වැදිල ඇවිත් ආපහු ඒකිටම වැදිල දෙපා සිඳුණ. පිස්සුවෙන් වගේ කෑ ගහන්න ගත්තම මං කිව්ව කට වහ ගනින් කියල. පියන් ගෙනැත් තිබ්බ රෝද පුටුවක්. මං නලාව කරේ දාගෙනම රෝද පුටුව තල්ලූ කලා ඒකිව දාගෙන. වටේ මිනිස්සු බලාගෙන ඉන්නව දොස්තර කෙනෙක් ලෙඩෙක්ව රෝද පුටුවෙ දාගෙන ඇටෙන්ඩන් වැඩේ කරනව. කොහොමත් දැන් රෝද පුටු පැදගෙන යන්නෙ ලෙඩ්ඩුමයි. කනිෂ්ඨ සේවකයොයි ඇටෙන්ඩනලයි කොරිඩෝව දෙපැත්තෙ ඔල්වරසන් දෙනව. ෆාස්ට..ර් කියල. ටිකක් දුර ගිහින් ඒකි මගේ නලාව උදුර ගත්ත. පිස්සු නැතුව වාඩි වෙයන් කියල මාව දාගෙන පැද්ද පැදිල්ලක් නැවතුණේ පිස්සන් කොටුවෙ. කෙළින්ම වාට්ටුවට ගිහින් විල්බැරෝවෙන් පස් හලනව වගේ මාව හැලූව. ඒ වෙද්දි මං පස් වෙලා. මේකි වාට්ටුවෙ දොස්තරට කිව්ව මට පිස්සු කියල. මට නම් ඒක ගාණක් නෑ. මොකෝ මට පිස්සුනෙ. පිස්සු කියන්නෙ ඩිප්‍රෙෂන්.

              ඕන් ආයිමත් මට ඇහෙනව කට හඬවල්. කවුද මාව මරන්න හදනව කතාව කිව්වෙ නෑ කියල.. එහෙනම් ඔන්න අහ ගනිල්ලකො. 
මට ට‍්‍රාන්සර් ආවෙ ඇස් වාට්ටුවට. ඇස් වාට්ටුවෙ ඉඳන් බොරැල්ලට රුපියල් පහයි ඒ දවස්වල. කිලෝමීටර් තිබුණ එකසිය විසි ගාණක්. හැබැයි හයි වේ එක හැදුනම ඒක ටිකක් වෙනස් වුණා. එතන හිටිය පිස්සෙක් නිසා මට ඇස් වාට්ටුව එපා වුණා. මාරු වෙන්න ට‍්‍රයි කලා. හරි ගියේම නෑ. බොසාට කියන්න උත්තරත් නෑ. පස්සෙ තමයි පිස්සන් කොටුවෙ දොස්තර හම්බුණේ.. ඊට කළින් මං ඔක්ස්ෆර්ඞ් සයිකැට්රි පොතක් කියවල ගියේ. එයා හිතන්න ඇති පොතේ තියෙන රෝග ලක්ෂණ ඔක්කොම තියෙන ටිපිකල් රෝගියෙක් කියල. එයාට මාර සතුටුයි. මටත් සතුටුයි. ඒක තමයි මං ඩිරෙක්ටර්ට ඉදිරිපත් කළේ.

ගැමුණු පී. දසනායක
2020-03-11


තනිය හා බැඳීම

තනිය හා බැඳීම


     මාගේ නොබැඳීම මට කිසිදු ප‍්‍රශ්නයක් නොවුණත් සමාජයට එය මහත් ප‍්‍රශ්නයකි. ප‍්‍රශ්නයක් නොව ප‍්‍රශ්න පත්තරයකි. ඇතැමෙක් ‘‘ බැඳලද? ’’ කියා ප‍්‍රශ්නය මුණටම දමා ගසන අතර ඇතැමෙක් දෙවන තුන්වන ප‍්‍රශ්නය පළමු ප‍්‍රශ්නය බවට පත්කරති. ඌවේ කෙනෙක් ‘‘වයිෆ් මොනා කරනවා’’ කියා ප‍්‍රශ්නයක් නොවන අයුරින් ප‍්‍රශ්නය විමසන අතර දකුණේ කෙනෙක් ‘‘බැන්දෙ කොහේටෙයි’’ යනුවෙන් වූ ප‍්‍රාදේශීය ව්‍යවහාරය භාවිත කරති. එහි පිළිතුරෙන් විස්මිත වන ඔවුහු විටෙක ‘‘සොරි’’ කියා වෙනත් කතාවක් ඇද ගනිති. එහෙත් සමහරෙක් ‘‘දන්න කෙනෙක්’’ ගේ ගුණ වයමින් පසු පසම පන්නති. ඇතැම් විට හිනාවකින් බේරී පලා යන්නට හැකිවුවත් ඇතැම් ඒවා කෙළවර වන්නේ කොයි තරම් හිතවත් වුවත් ඔවුන්ගේ දුරකතන ඇමතුම්වලට අහක බලා ගැනීමෙනි. එවිට ඔවුහු වෙනත් නොම්මරකට සැඟවෙති. ‘‘මොකෝ බං තාම මෙහෙම’’ කියා අසන ප‍්‍රශ්නයට පිළිතුරු මා ළඟ නැත. එහෙත් ඔවුහු එයින් බොහෝ දුර ඇවිද යති. බූට් එකක්, ඩිවෝස්, හෝමෝසෙක්ස්, ක්‍රොනික් ලෙඩක්, ඉම්පොටෙන්ස් ඔවුන්ගේ හිසරදය තුළ කැකෑරෙන බව මට පෙනෙයි. තවදුරටත් එය මට හිසරදයක් වන්නට පෙර මම බඳින්නට තීරණය කළෙමි. 

     මොනරාගල සිට ගාල්ලට ස්ථාන මාරු ලබා එද්දී මා බැඳුණු කෙනෙකි. පෞද්ගලික ලිපි ගොනුවේ සිවිල් ස්ටේටස් ඉදිරියේ මා අන්මැරීඩ් වුවද මගේ බිරිඳට ස්ථාන මාරු ලබා ගත හැකි නොවුයෙන් ඇයට එහි නතර වන්නට සිදු වී තිබිණ. ඇගේ ස්ථාන මාරුව වෙනුවෙන් ඇතැම් මිතුරන් ආයතන සංග‍්‍රහ, චක‍්‍රලේඛ පවා ඉදිරිපත් කළ අතර මගේ උනන්දුවක් නැතිකම යැයි මට දොස් පැවරුවේය. සති අන්තයේ මා ඇය බලන්නට යමි. නැතිනම් ඇය මෙහි පැමිණෙයි. ඒ අයුරින් තවත් බොහෝ කෙටි නිර්මාණ කරන්නට මට සිදු විය. සිද්දී දාමය නොකැඩී පාඨකයාට රසවත් ලෙස ඉදිරිපත් කිරීම සඳහා මට කෙටි කතාවක්ම ලියා එය කට පාඩම් කර ගන්නට සිදු විය. ඇතැම් අවස්ථාවක එහි දෙබස් අමතකව දිව පැටලූනේ නැත්තේ ද නොවේ. පේ‍්‍රක්ෂකාගාරයට එය නොදැනුණත් මට එය මහත් පීඩනයක් ගෙන දෙන්නක් විය. එමතු නොවේ. තව දුරටත් දුරගිය, විවාහය දරු පලයෙන්ම අවසන් විය යුතුයැයි සිතූ මිතුරෙක් දරු පල පිණිස මට උපදෙස් දෙන්නට ඉදිරිපත් විය. ගොඩ වෙදකම් පවා ඉදිරිපත් කළ ඒ මිත‍්‍රත්වය ඇතැම් විටෙක පිළිකුල් දනවන්නක්ය. 

     නොසිතූ අයුරින් විවිධ අනු කොටස්වලට විහිද යන බැඳීම වූ කලී මහත් හිසරදයක්මය. එය බලෙන් ඔබ්බා ගත් මානසික  පීඩනයක්ය. බැඳීම තනිකඩකමට වඩා ප‍්‍රශ්නකාරී එකක් බව එසේ අවබෝධ කර ගත් බැවින් දිගටම නොබැඳී තනිකඩව සිටීමට මම තීරණය කළෙමි.

     ගැමුණු පී. දසනායක

මේ සිහිනෙට මං ආසයි...

මේ සිහිනෙට මං ආසයි...

     මේ දිනවල මම එකදිගට එකම සිහිනයක් දකිමි. ඒ සිහිනයට මම ආදරය කරමි. එබැවින් නින්ද මගේ සමීපතමයා බවට පත්ව සිටියි. මම වේලාසනින්ම නින්දට යමි. 

‘‘ඒ හිරු නොනගීවා - රෑ තව දිගු වේවා’’

‘‘මගෙ සිහිනය මට දකින්න ඉඩ හරින්න  
ඒ සිහිනෙන් මා මුදන්න ළං නොවන්න’’ 

අනුන්ගෙන් ණයට ගත් වචනවලින් මම ඔබට එසේ කියමි.

     මා අවුරුද්දකට ආසන්න කාලයක් තිස්සේ බලාගෙන සිටි ස්ථාන මාරුව ලැබී ඇත. ඒ ගාල්ලෙන් එනම් මගේ ගෙවල්වලින් බොහෝ ඈතටය. කාස්ටක බිමේ හමන සුළං මැද මම සැනසිල්ලේ සිනාසෙමි. ඩිස්කවරියාද, කැමරාවද යළිත් මගේ සහෘදයන් වී ඇත. ඒ සිහිනය පොරවාගෙන මම තව තවත් ගුලි වෙමි.


     මා මොනරාගල දමා ආවේ සිතකින් නොවේ. ඒ ආ පසුත් යළි යළිත් මා සිත ඒ බිමට දිව යන්නට විය. අදටත් එය එසේමය. ඔව් ඒ මගේ පේ‍්‍රමයයි. ඒ බිමට හත්ගවුවක් ඈතින් සිටින්නවුන් අති දුෂ්කර ලෙස හැඳින්වුවද ඒ බිමෙහි කොයිතරම් නම් සෞන්දර්යයක් වැතිරී සිටියේද? වැව් දියක සිට උපදින සීතල සුළඟ, කඳු මුදුනක සිට දකින අනන්තය තෙක් විහිදුන වන නිල්ල, ඉපැරණි පන්සලක නටබුන්වල ඇති අතීත කාමය ඒ භූමිය පුරා පිරී විසිරී ඇත. ඉතින් ඒ කළු කෙට්ටු මොනරාගල මගේ  ප‍්‍රථම පේ‍්‍රමය නොවනු කෙලෙසද? එහෙත් මා එන විට ඇය ගිහින් එන්න කියා කීවේවත් නැත. එහෙත් මම සිතින් නිතර එහි ගොස් එමි.


     මට ගාල්ල සිතට නොඅල්ලයි. ගාල්ල මා ඉපදුන බිම බව සැබෑය. හැදී වැඩුණ, ඉස්කෝලේ ගිය බිම බව සැබෑය. එහෙත් අවුරුදු විසි ගණනක් ගාල්ලෙන් දුරස්ව සිටි පසු එය තව දුරටත් මගේ ළබැඳියකු සේ සිටින්නට අකමැති සේය. ගෙදර අතේ දුර වුවත් මම බෝඩිංගතව හිඳිමි. කෙනෙකුට මහ ගෙදර තරම් සැනසිල්ලක් තවත් නැතද, මට එය එසේ නොවේ. පසුගිය අවුරුදු විසි ගාණ තුළ මහ ගෙදර මගේ කාමරය මට නැති වී ගොසිනි. මා චිත‍්‍රපටි බලන්නට වාඩි වුණ මගේ රජ පුටුවද වෙනස් වී ඇත. ටී.වී. එකේ දුරස්ථ පාලකය අන් සන්තක බැවින් මා ප‍්‍රිය කරන සෞන්දර්යයට මාරු වීමට මට වරම් නැත. ගෙදර එන්නැයි එන්නැයි අම්මලාගේ නිරන්තර කෑ ගැසීම මොනරාගලින් මා විස්ථාපනය කරන්නට සමත් වුවද මේ ජීවිතය මට අප‍්‍රියජනකය. අපුලය. උදේ හතට අවදි වෙන, අටට වැඩට යන, හතරට බෝඩිමට එන, පහට ගෙදර යන, දහයට ගෙදරින් එන, ආ විගස මහන්සියට නින්ද යන, ආයෙත් උදේ හතට නැගිටින ඒකකාරී ජීවිතයෙන් හෙම්බත්ව සිටිමි. රැඩිකල් ලෙස කියනවා නම් මේ සිස්ටම් එක මට අල්ලන්නේ නැත. එබැවින්ය මා දකින මගේ සිහිනයට මා මේ හැටි කැමති.


     ඉස්සර වගේ නොවෙයි දැන් ගාල්ල හරි වෙනස්. හරිම කලබලය. පොඩ්ඩ ඇත්තන් කෑ ගසයි. විටෙක එය මහත් හිසරදයකි. මුහුද බලන් ඉන්නෙත් සුනාමියක් එවන්න වගේ. ඒත් පිටත සිට මට පෙනෙන ගාල්ල ගැන එතුළ සිටින අයට කියද්දි නම් ඔවුහු එය පිළිගන්නට මැලි වෙති. ඔවුන්ට ඒ වනාහී සකල සම්පත් ප‍්‍රාදුර්භූත වන දෙව් ලොවයි. මා මොනරාගල හොඳ වනන විට අප සන්සඛී ප‍්‍රියංගාවන් මගෙන් ඇසුවේ ‘‘ඔයා ගංජ බීලද ඉන්නෙ’’ කියායි. ඔවුන් නොදුටු ඒ සෞන්දර්යය පෙන්වන්නට හැකි නම්...


     මා දැන හදුනන මාමා කෙනෙක් මා මුණගැසුණ දිනෙක මෙසේ ඇසුවේය. 
‘‘දැන් පුතා සෙට්ල් වෙන්න කාලෙ හරි. මං නම් දකින විදියට ජීවත් වෙන්න හොඳම මේ ගාල්ල තමයි.’’ 
‘‘එතකොට අන්කල් පළාත් කීයක ජීවත්වෙලා තියෙනවද’’ 
‘‘මං නම් ගාල්ලෙන් පිට කොහෙවත් ඉඳල නෑ.’’
අපට උපදෙස් දෙන්නන්ගේ අත්දැකීම් අන්න එයාකාරය. 


අදත් වේලාසනින්ම නින්දට යා යුතුය. 


     මා අවුරුද්දකට ආසන්න කාලයක් තිස්සේ බලාගෙන සිටි ස්ථාන මාරුව ලැබී ඇත. ඒ ගාල්ලෙන් එනම් මගේ ගෙවල්වලින් බොහෝ ඈතටය. කාස්ටක බිමේ හමන සුළං මැද මා සැනසිල්ලේ සිනාසෙමි. ඩිස්කවරියාද, කැමරාවද යළිත් මගේ සහෘදයන් වී ඇත. ඒ සිහිනය පොරවාගෙන මම තව තවත් ගුලි වෙමි.

ගැමුණු පී. දසනායක
2020-03-03