දානයට ලෑස්තිය(කොරෝනා කාලේ සටහන්)
අම්මා ආත්තම්මාගේ දානය ලෑස්ති කරගෙන සිටියේ දහවෙනිදාටය. විවිධ හේතූන් නිසා එය පසුගිය අවුරුදු දෙකක කාලයේ හරිහැටි දී ගන්නට නොහැකි වීම නිසා අම්මා සිටියේ මහත් කනස්සල්ලෙනි. මෙවර එය තරමක් ඉහළින් කරන්නටය ඇගේ සූදානම වී තිබුණේ. එනම් පන්සලෙන් හාමුරුවන් ගෙදරට වඩම්මා දෙන සාංඝික දානයක් සඳහාය සැලසුම.
එහෙත් පවතින තත්වය හමුවේ එය වෙනස් වී තිබුණි. දහවල් දානය එදාට පන්සලට ගෙන ගොස් පූජා කිරීම දක්වා එය ලඝු විය. එයට අම්මාගේ හිතේ නම් තිබුණේ දුකකි. එහෙත් පවතින තත්වයට අනුගත වනවා හැරෙන්නට ඇයට වෙනත් විකල්පයක් ද නැත.
එදා මා ගෙදර යද්දී අම්මා දොර ජනෙල් රෙදි සෝදා වැලේ දමා තිබුණි. මාමා ලවා බිත්තිවල තීන්තද ගායි. වෙනදා ගෙදර උත්සවයකට සැරසෙන වටපිටාවය අදත් මේ කියා පාන්නේ. පවතින භයානක තත්වය පිළිබඳ වගක් නැති සේය. මීටරේ පරතර, මුඛවාඩම් පැත්තකවත් නැත. අවවාද දීම්, දැනුවත් කිරීම්, සංඛ්‍යාලේඛන ඉදිරිපත් කිරීම් ප‍්‍රතිපලදායක නොවද්දී තදින් කීම, දොස් නැගීම ආදියෙන් නතර නොවී තර්ජනය කිරීම දක්වා එය වර්ධනය විය. පසු දින යද්දී ගෙදර අය ඒවා පිළිගෙන තිබුණි. ඉස්සරහ දොර ළග සැනිටයිසර් දියර බෝතලයක් මෙන්ම ළිඳ ළග සබන් කෑල්ලක්ද තබා තිබිණි.
මා ගෙදර යන්නේ දින දෙක තුනකට වතාවකි. ඒ ගියද කතාව අවමය. ගේ ඇතුළට නොයමි. ඉස්තෝප්පුවට පමණක් මගේ ආගමනය සීමා විය. ආදර්ශය අවවාදයට වඩා උසස් වුවත් චූටිට නම් එය විහිළුවක් විය. මගේ රගපෑමක් විය.
ගැමුණු පී. දසනායක
2020-04
No comments:
Post a Comment