Pages

Wednesday, April 8, 2020

සුපිරි මිත‍්‍රත්වය

සුපිරි මිත‍්‍රත්වය(කොරෝනා කාලේ සටහන්)

    ඔන්ලයින් බඩු ඇණවුම් කිරීම සඳහා වූ දුරකතන අංක රාශියක් මා දුරකතන මතකයේ ගබඩා වී ඇත. වයිබර් ගෲප්වලින්ද, යාළුවන් විසින් එවන ලද පණිවිඩවලින්ද ඒවා මට ලැබිණි. දහවෙනිදා දානය මට තවත් හිසරදයකි. බඩු ඇණවුම් කිරීම, ඇඳිරි නීතිය අස්සේ බඩු ලබා ගැනීම, ඇඳිරි නීතිය ඉවත් කළ පසු පෝළිම් ආදිය, දානෙ ගෙන යාමට ඇඳිරි නීති බලපත‍්‍රවල අවශ්‍යතා, නව වෙනිදා වෙද්දී දානෙට අවශ්‍ය බඩු පමණක් නොව පිරිකරද සූදානම් කර තිබීම ආදිය ඒ හිසරදයේ අනුකොටස්ය. බොහෝ ඇණවුම් දුරකතන අංක ගොළුය. මා ඔසුසලෙන් ඇනවුම් කළ බෙහෙත් වට්ටෝරුවට තවම ප‍්‍රතිචාර නැත.

‘‘පුෂ්ප අක්කට මං කෝල් එකක් දෙන්නම්. එයා තියෙනවනම් කොහෙන් හරි බඩු ටික හොයල දේවි’’

    අම්මලා පවතින තත්වය ගැන දන්නේ නැත. ෆුඞ්සිටිවල මොන අක්කලාගේවත් ෆෝන් මේ දවස්වල ඉස්සෙන්නේ නැත. අම්මා හිතා ඇත්තේ කිව්ව පරක්කුවට බඩු ටික ලෑස්ති කරයි කියලා. පෝලිම්වල ඉඳල කන කට්ට අම්මලා දන්නේ නෑනේ... 

     එහෙත් පසුදින අම්මා කිව්වේ පුෂ්පා අක්කාගේ ෆුඞ්සිටියට ගොස් බඩු ටික අරන් එන්න කියාය. මම එහි ගියෙමි. පළාතේ ප‍්‍රධානම ෆුඞ් සිටියක අයිතිකරු පුෂ්ප අක්කාගේ මහත්තයාය. මා යනවිට අම්මා ඇණවුම් කළ බඩු පාර්සල් ගත කොට තිබිණි. මා පුෂ්පා අක්කාගේ මහත්තයා හඳුනා ගත්තේ එවිටය. අපේ ලොකු නංගිලාටත් පුෂ්පා අක්කාටත් දෙබරවැව ගුරුපත්වීම් ලැබුණේ එකටය. මීට අවුරුදු දහ පාළොහකට කලින් ඔවුන් ඇරලීම සඳහා ගිය චාරිකාවට මාද එක් වූ අයුරු මට මතකය. නංගීගේ හා පුෂ්ප අක්කාගේ ඒ හිතවත්කමය මේ. 

        ඒ විනාඩි කිහිපයේ මා දුටු දේ බොහෝය. එළියේ මාර්ගය ඇඳිරි නීතියෙන් හිස් වී තිබුණත් ඔහුත් ඔහුගේ සේවකයිනුත් කාර්ය බහුලය. ඔවුහු ලැබුණු ඇණවුම්වලට බඩු පාර්සල් කරති. ලැබෙන දුරකතන ඇමතුම් කෙළවරක් නැත. කෙනෙක් පැමිණ දොරට තට්ටු කරති. විවිධ හේතු කියා බඩු ගැනීමට ඇතුළු වන්නට අවසර ඉල්ලති. එහෙත් පාරිභෝගිකයින් ඇතුළට ගන්නට ඔවුන්ට අවසර නැත. නීතිය එයය. ඇඳිරි නීති අවසර පත‍්‍රය යටතේ ඔවුන්ට අවසර ඇත්තේ ඇණවුම්වලට බඩු බෙදා හැරීම පමණි. එපමණක් නොව ඊයේ ප‍්‍රවෘත්තිවල මා දුටු දසුනක්ද විය. පළාතේ දේශපාලකයෙකුගේ දුරකතන ඇමතුමකට එක්තරා පළාතක ෆුඞ්සිටි අයිතිකරුවෙකු හාල් මුට්ට ගණන් ලොරියට පැටවීමය. ඉතින් ඔවුන්ට මෙවන් අණසකයන්ටද ඇතැම් විට යටත් වන්නට සිදු වනවා ඇත.

          අමතක නොවන මිත‍්‍රත්වයේ, සහෝදරත්වයේ ඉතා ඉක්මන් ප‍්‍රතිචාරය හමුවේ ගෙදර දානෙ බඩු මල්ල ගෙන ගොස් ඒ බර බිම තැබුවෙමි. 

ගැමුණු පී. දසනායක
2020-04

No comments:

Post a Comment