Pages

Thursday, April 9, 2020

බිඳ වැටුණ සිහිනය

බිඳ වැටුණ සිහිනය

            ඒ දුරස්ථ වීමට දැන් අවුරුද්දකට කිට්ටුය. ඉන්පසු වරක් දෙවරක් ඇය හමු වුවද එදා තිබුණු ළෙංගතුකම ඇගේ දක්නට නොවිණි. පණිවිඩයක් තැබූ විට ඔව්, නෑ, බෑ, ස්තුතියි වැනි කෙටි ප‍්‍රතිචාරයකින් එය අවසන් වූ අතර ඇමතුමක් අවසන් වූයේ නිදිමතයි, උයන්න තියෙනවා, ඩියුටි යන්න තියෙනවා වැනි තව දුරටත් දික්ගැස්සිය නොහැකිම වාක්‍යයකිනි. මෙයට හේතුව මට සිතා ගත නොහේ. මා සිතේ ඇයට ඇත්තේ මහත් වූ සෙනෙහසකි. කතාවට ඇත්තේ බලවත් කැමැත්තකි. ඒ දැනට අවුරුදු දෙකකට ඉහත ඈ මුළින්ම නෙත ගැටුණු දා ඇති වුණ සිතිවිල්ලේ බලමහිමයයි. එදා සිට මොකක්දෝ දෙයක් සිතේ තදකරගෙන සිටියා විනා එය ප‍්‍රකාශ කරන්නට තරම් මා නිර්භය නොවීය. එයට තවත් බොහෝ කාරණා එනම් ඇගේ පැරණි පේ‍්‍රමය, ඒ පේ‍්‍රමයේ තවමත් මතුවන ඇමතුම්, ඔහුගෙන් ඇයට වූ මරණ තර්ජන, අපේ අම්මලාගේ ආකල්ප යනාදිය එක්කාසු වී මා ඉවතටම විසි කළේය. කෙසේ වෙතත් ඒ සියල්ල පීරාගෙන ඇය කැන්දාගෙන යාමට මා සිත එකවර දිරිමත් විය. එහෙත් මා ඒ පළාතෙන් එන තෙක්ම එය ඉටු නොවිණි.

           ආදරය, විවාහය පිළිබඳ අබ මල් රේණුවක්වත් අපේ කතාවල ගෑවී නොතිබිණි. එහෙත් ඈ දොරටුවෙන් පිටවද්දී ඈ නික්ම යන දසුන මම බලා සිටියෙමි. ඇයත් හැරී මා දෙස ලොකු ඇස් කරකවා බැලූ බැල්ම මා සිහිපත් කරන්නට කැමතිම මතකයයි. ඉතින් ඒ මතකයන් මා හට බලාපොරොත්තු දල්වා තබා ගන්නට බල කිරීමේ කවර නම් වරදද? එහෙත් ඇගේ මේ මගහැරීම....

           මම කෙළින් කතාවට බිය වීමි. ඇයට බඳින්නට කෙනෙක් ඉන්නවා කියා වෙනකෙකුගේ මුවින් නික්මුණ ආරංචිය මා අබිමුව වූ ලෝකය පුපරවන්නට තරම් විය. එය ඇත්තක්ද නැතිනම් විහිළුවට කටට ආවට කියූවක්ද කියා මට සිතා ගත නොහැකි වුවත් එය විහිළුවකැයි කීමට මා සිත පුරුදු විය. කෙසේ වෙතත් ඉන් පසු ඈ හා මාගේ කලාතුරකින් වූ ඇයිහොඳැයියත් දුරස් විය.

               ඇයි ඈ මා මග හරින්නෙ. හරි සරලය. ඈ මට කැමති නැති නිසා. එහෙත් මා සිත එය පිළිගන්නට සූදානම් නැත. ඇය මට කවදාවත් කැමතියි, ආදරෙයි කියා නැත. ඉතින් ඇයට වෙනත් පේ‍්‍රමයක් නැත්නම් මේ ප‍්‍රත්ක්ෂේපයට හේතුව මට ඇගේ ඇති අකමැත්තම නොවේද? අකමැති නම් එයට හේතු මොනවාදැයි කියා මා අසන්නේ නැත. එහෙත් එය තහවරු කර ගතයුතුය. 

                ඇගේ උපන් දිනේ දා බොහෝ කාලයක් අසන්නට පුල පුලා සිටි ඒ ප‍්‍රශ්නය ඇසීමි. වක්‍රෝක්තිය නම් භාෂා උපක‍්‍රමය මේ අවස්ථාවට අනුචිත වුවත් එයම ඒ සඳහා යෙදුණේ මෙය කවියක් කියා සිතුණ නිසා නම් නොවේ. මීට පෙර බොහෝ වර මා ඇයට කතා කිරීමට ගත්තද ඇගේ දුරකතනය නාද වූවා මිස ප‍්‍රතිචාරයක් නොවිණි. ඇයට වුවමනාවක් තිබුණි නම් එය එසේ වන්නට විදියක් නැත. ඇයට මා කෙරේ බැඳීමක් තිබුණි නම් ඇයද මා මෙන් මොනයම් හෝ හේතුවක් දක්වා හෝ මා අමතනු ඇත. එහෙත් ඇය මා දිගින් දිගටම මග හැරියාය. අවසානයේ මා වක්‍රෝක්තියෙන් ඇසූ ප‍්‍රශ්නවලට ඇගෙන් ලද පිළිතුරුවල සාරය වූයේ බඳින්න කෙනෙක් ඉන්නවා. ඔබ දන්නෙ නැති කෙනෙක්.

             එහෙත් මට තාමත් ඒ අවසන් සංවාදය සිහිනයක්මය. ඉක්මනින් ඇහැරී එය සිහිනයක් පමණක් බව දැකීමට මම කැමැත්තෙමි. එහෙත් ඇහැරුණ ද එය සැබෑවක් නම් වෙන කුමක් කරන්නද? ජීවිතය කවියක් තරම් සොඳුරු නැත.

කළු බදාදා

ඇඳිරි නීතිය දාලා
හඳත් කළුවට වැහිලා
කළුම කළු ආරංචිය
හදේ පතුළට වැටුණා

ඉවසන්න පුළුවන්
නගරාන්තර බාධා
ඇඳිරි නීතිය කියා
සඳ වසාගත් වලා
වැස්සෙ නිමිතිය කියා

ඇඳිරි නීතිය
ඉවත්වන යම් දවසක
සඳ පෑයූ මොහොතක
කෙසේ ඉවසාවිද
කළු බදාදා මතක

ගැමුණු පී. දසනායක
2020-04-08

No comments:

Post a Comment