Pages

Wednesday, April 8, 2020

නන්දන වින්දන

නන්දන වින්දන(කොරෝනා කාලේ සටහන්)

          ඊයේ ගෙදර ගිය විට ජාතික රූපවාහිනියේ නන්දන වින්දන යයි. එය කොවිඩ් හි අතුරු ප‍්‍රතිපලයක්දැයි නොදන්නා නමුත් මා සිත කටු අකුල් කඩාගෙන අතීතයට දිව යයි. අසූ එකේ ටෙලිවිෂන් පටන් ගනිදීද්දී අපට ටෙලිවිෂනයක් නොතිබිණි. අපට පිට යාමේ තහනමක්ද තිබිණි. ලොකු අම්මලහටද බොහෝ දුරක් තිබිණි. අවුරුදු හතරකින් පමණ ඉක්බිතිව අපිද ගෙදර සිට කළු සුදු ටෙලිවිෂන් බැලූවෙමි. එකල ගමන, සිංදු බිංදු, නයිට් රයිඩර්, ටාසන් මෙන්ම මේ නන්දන වින්දනද අපේ රස භාව පුළුල් කළේය. ළමා අපේ දැනුම්ද පෝෂණය කරමින් සැලලිහිණියා පියාඹා ආවේය. මට සාමාන්‍යයෙන්  දේවල් ඒ තරම් මතකයේ නොරැඳුණත් ඇතැම් නාට්‍ය දෙබස් තාම මතකය. එහි සංගීත වැඩසටහන් අප ඇඳ බැඳ තබා ගත්තේය. අප පොතින් කියවූ කවියන්, ගීත රචකයන් සජීවීව අප ඉදිරියේ ගීතයන්ගේ උප්පත්ති කතා කීහ. ගීතය ගීතයම විය. ගායකයෝ ම ගී ගැයූහ. චිත්ත රූප ඇතිකර ගැනීමට බාධකයක් නොවීය. ඉනික්බිත අප සරසවියට පිවිසෙනවාත් සමග ඒ ටෙලිවිෂන් අන්දර නිමා විය. 
              
              අවුරුදු දහයක පමණ හිඩැසකින් පසු යළි ටෙලිවිෂනය ඉදිරියේ වාඩි වෙද්දී බොහෝ දේ වෙනස් වී තිබිණි. ගී ගැයූවෝ ගායකයෝ නොවූහ. ඔවුහු බොහෝ විට ආධුනිකයෝ වූහ. ඒ වැඩසටහන්වලට රියැලිටි යැයි නමක් දී තිබිණි. එහෙත් ඒ ආධුනිකයින් ප‍්‍රවීණයන්ටත් වැඩි දක්ෂයින්යැයි ඒවා ඉදිරියේ වාඩි වී සිටි විනිශ්චයකරුවෝ හඩ තලන්නට වූහ. ගීත දන්නා ස්වර ගැන දන්නා අප සංගීත උගත් මිත‍්‍රයින් කියා සිටියේද ඒවායේ මාර ටැලන්ට්ස්, වේරියේෂන් තිබෙන බවය. එහෙත් මට ඒවා විඳිය නොහැකි විය. මට අවශ්‍ය වූයේ කපුගේගේ ගීය කපුගේගේ හඬින්මය. එයත් ඔරිජිනල් එකමය. ඔරිමජිනල් එකය. කපුගේගේ මංමුලාවී පාර හොයාගෙන යන විට එහි ස්ථායි කොටසේ පාර හොයාගෙන කියද්දී දෙවෙනි පාර හොයාගෙන නොව සොයාගෙනය. ඒ වෙනස මට වෙනසක්මය. එය මිත‍්‍ර කියූ විට මට එහි රහක් නැත. මක්නිසාද යත් මා පළමු ගීතය උපරිමයෙන් විඳ ඇති බැවිනි. සුනිල් එදිරිසිංහයන්ගේ ගීයක් අමරදේවයන් කියද්දී කොයි තරම් දක්ෂ වුවත් මට එහි රහක් නැත. සුනිල්ගේ ගීතය මා උපරිමයෙන් විඳ ඇති බැවිනි. එසේ විඳ නොගත් ගීයක් වෙන කෙනෙක් කියද්දී මට ගාණක් නැත. ඉතින් ඒ බොහෝ ගීත වැඩසටහන් මට නීරස විය. 

        එදා අපට ගීත ගැන කියා දුන් සාහිත්‍ය වැඩසටහන් අද නැත. එදා ඒවාට ඈඳා ගත්තේ ඒවායේම පතාක යෝධයන්ය. රත්න ශ‍්‍රීලා, සුනිල් ආරියරත්නලා අපටද මං තැනූහ. එහෙත් අද ඒවා කියා දෙන්නට එන්නේ ඒ පිළිබඳ කිසිදු විශ්වසනීයත්වයක් නැත්තන්ය බොහෝ විට. වෙනත් ක්ෂේත‍්‍රයක ඉන්නන්ය. ඔවුන්ද එක්කෝ කිසිම අදාළත්වයක් නැති මනස්ගාත වමාරති. නොඑසේ නම් ඉස්සර ප‍්‍රවීණයන් කියූ දේවල්ම කොහින් හෝ අහුලාගෙන ඇවිත් තමන්ගේ අදහස් සේම තලූ මරති. ඒවා ඉස්සර නෑසූ උන්ට නම් ඒවා මාර අදහස්ය. ළඟදී සිහිනයක් නම් වූ වැඩසටහන දිගටම බලන මා මිත‍්‍රයෙක් එය බලන්නැත්තේ ඇයිදැයි මගෙන් ඇසීය. මා ඔහුට සිනාවකින් සංග‍්‍රහ කළා මට ටී වී එකක් නැතැයි කියා. ඉතින් එය මා බැලිය යුතුද? මා දන්නා තරමින් හා මුල් කාලයේ නැරඹූ මතකයෙන් එහි එන්නේ අදාළ ගායකයින් නොවේ. වෙනත් කෙනෙක් තවත් කෙනෙක් අමාරුවෙන් නිර්මාණය කළ ගීතයක් කියයි. මට එහි රහක්නැති බව මා කලින් කිව්වා නොවැ. අනික ඒ ගීයේ නිර්මාතෘන් ජීවත්ව සිටිද්දී කොහේ හරි යන එකෙක් ගෙන්වා කරන උත්පත්ති කතාවල කුමන විශ්වසනීයත්වයක්ද? එය මතු නොව එම සාම්පලයේ බොහෝ වැඩසටහන් මෙලෝ රහක් නැත. මට මගේ පරණ කැසට්පටි ටික හොඳා.. ‘‘මගෙ ගැරහුමට නැත ඔය අයව ලක් වුණේ...’’ එහෙත් මා ටෙලිවිෂනයෙන් ඈත් වීම පුදුමයක් නෑ නේද? 

          එහෙත් ඒ නන්දන වින්දන. මේසෙ අස්සට දා තිබූ ටී වී එක පෙට්ටියෙන් එළියට ගෙන, බටපොළ ඇන්ටනාව සවි කර යම්තම් ජාතික පේන්නට හදා දෙන්නට ඒ අතීත කාමය සමත්විය.

ගැමුණු පී. දසනායක
2020-04

No comments:

Post a Comment