Pages

Wednesday, April 8, 2020

අම්මගේ ආදරේ

අම්මගේ ආදරේ(කොරෝනා කාලේ සටහන්)

          මං මේ දවස්වල ගෙදර යන්නේ දවස් තුන හතරකට වතාවකි. ඒකත් මොකක් හෝ අම්මලාගේ අවශ්‍යතාවක් ලබා දෙන්නටය. ඒ ගියත් කතාව අවම කර ඇත. ආගමනය ඉස්තෝප්පුවට පමණක් සීමා කරමි. අද ගියේ දානෙ බඩු ටික ගෙන ගොස් දෙන්නටය. එහෙත් මට පැයක්වත් එහි රැඳෙන්නට සිදු වේ. මා කොයි වේලේ ගියත් අනිවාර්යෙන් මා බත් කෑ යුතුය. මේ දවස්වල නම් මා පැහැදිළි කොට කියා ඇති බැවින් අම්මා මට බත් එකක් බැඳ දෙන්නීය. එකක් නොවේ. දෙකකි. එකක් ගිය ගමන් කන්ටය. අනික පසුව කන්නටය. ඒ මදිය. මාළු බැදපුවා, අල බැදුම්, රටකජු මිශ‍්‍රණ, චිලි පේස්ට් වැනි කල්තබා ගත හැකි දේ. දැන් ඒ බොහෝ දේවලින් මගේ ශීතකරණයද පිරී ඇත. කොයිතරම් එපා කීවත් ඇය ඒවා සාදා දෙන්නීය. විටෙක බොරු නෝක්කාඩුවක් ගනිමින් ඒවා ප‍්‍රතික්ෂේප කළද වැඩි වේලා නොගොස් එන බඩගින්නේදී ඒ අගය කියා නිම කළ නොහැනිය. අදත් බත් පෙට්ටි දෙකක් ලැබිණි. ඒවායේ එළවලූ වර්ග හයක් තිබුණි. මාළු ද ඇතුළුව. තනිකඩ මම උයන්නට දනිතත් එළවලූ දෙකක් හදා ගැනීම කොයි තරම් අමාරු කම්මැලි වැඩක්දැයි මම දනිමි. එබැවින් ඇතැම් විට මම එලවළු දෙක තුන එකම වලඳේ පිහා ගත් අන්දම මට මතකය. එහෙත් අම්මා කවදාවත් අපට එලවළු හතරක්වත් නැතුව බත් දී නැත. ඒවාද අපි කැමති ඒවාය. අපි අකමැති කෑම අපේ පිඟන්වලට නොදෛන්නට තරම් ඇය සැලකිලිමත් වූවාය. ඉතින් දැන් මා අම්මාට කියන්නේ මේවා සීමා කරන්නට කියාය. ඉදිරියේ එන ලොකු ආහාර හිඟයකට අප සූදානම් විය යුතුය. කොයි තරම් කීවත් මම දනිමි. අම්මා අපට දෙන බත් පතේ හෙටත් එලවළු හතර පහක්ම තිබෙනු ඇත.

ගැමුණු පී. දසනායක
2020-04

No comments:

Post a Comment