Pages

Wednesday, April 8, 2020

බොර දියේ මාළු බෑම

බොර දියේ මාළු බෑම(කොරෝනා කාලේ සටහන්)

        ඇඳිරි නීතිය ලිහිල් කළේ අද උදේ හයටය. නැවත පටන් ගන්නට ඇත්තේ තව පැය බාගයක් පමණි. මිනිස්සු යුහුසුළු වෙති. මේ පැය අට තුළ ඔවුහු ආහාර රැස් කර ගත්හ. බෙහෙත් පෝළිම්වල සිටියහ. බෙහෙත් ගන්නට ක්ලිනික් එකට ගියහ. සල්ලි ගන්න බැංකුවට ගියහ. අවසාන පැයේ මම ද මෝටර් සයිකලය ගෙන රවුමකට සූදානම් වූයේ තවත් සුළු සුළු දේවල් කිහිපයක් ගන්නටය. මාගේ ඉලක්කයන් වූයේ සෙනග නොරැඳුණ කුඩා කඩය. බොහෝ දෙනා ලොකු ලොකු කඩවල්වල පොදි කද්දී මා සිතුවේ ඉක්මනින් බඩු අරන් ඉක්මනින් එන්නටය. මුදල මට සීමාකාරී සාධකය නොවිණි. කරාපිටිය බෙලිගහ පාරේ කුඩා කඩයකින් සීයේ හච් කාඞ් තුනක් මිලට ගතිමි. රෑ දෙක-හය චිත‍්‍රපටි ඩවුන්ලෝඞ් කිරීමේ අරමුණය. දින දෙක තුනකට පසු පාන්දර දෙකට ඩවුන්ලෝඞ් කිරීමේ ක‍්‍රියාන්විතය දියත් විය. එහෙත් මිලට ගත් කාඞ් තුනෙන් දෙකක් ම සූරා තිබිණි. මාද එදා කලබලයට ඒ පිළිබඳ විමසිලිමත් වී නොතිබිණි. උන් ඇඳිරි නීති කලබල අස්සේ මා අන්දා තිබිණි. හොරකමට ආගම අදාළ වී නොතිබිණි.

          මේ කලබල කාලේ කොයි තරම් නම් සොරකම් සිදු වන්නට ඇද්ද? අපේ නංගි කිව්වේ හොරණ පාමසියක් එයාට මාස්ක් එකක් විකුණුවේ රුපියල් හැත්තෑවට බවයි. ඒ රුපියල් පහළොවට මිල නියම කළ ඒවාය. 

           ග්ලික්ලසයිඞ් තිබෙන්නේ තව දවස් තුනකට පමණක් බව තාත්තා කීවේය. ඔසුසලෙන් කිව්වේ ඇණවුම් කළ පසු දවස් දෙකක් යන බවය. එනිසා ඇඳිරි නීතිය ඉවත් කළ පසු ඩියුටි යනගමන් පොඩි පාමසියකින් සතියකට විතරක් බෙහෙත අරන් යන්නට සිතුවෙමි. උදේ හතහමාර වෙද්දීම ජනතවෝ සෑම කඩයකම පෝළිම් ගත වී ඇත්තාහ. කුඩා පාමසිවලද එකා දෙන්නා ඇත. ඒවා ඇතුළට ගත්තේ එකා දෙන්නාය. ඉස්පිරිතාලෙ අයිනේම කුඩා පාමසියේ කිසිවෙකුත් නොසිටියෙන් ද අට වෙද්දී ඩියුටි යා යුතු හෙයින් ද එයට ගොඩ වී ග්ලික්ලසයිඩ් හතළිහ උදේ හවස සති දෙකකට මිලට ගතිමි. ගාන එකසිය අසූ ගණනක් විය. එහෙත් දවල් ලොකු පාමසි ඇර තිබූ හෙයන් මාසෙකට අදාළව සියලූ බෙහෙත් ගනිද්දීය මට ග්ලික්ලසයිඩ් පෙත්තක තරම දැනුනේ. ඒ පෙත්තක් රුපියල් හතරකි. එකම නාමයෙන් වූ පෙත්තට කුඩා පාමසි කාරයා මගෙන් තුන් ගුණයකටත් වඩා ගෙන ඇත. 

           මේ ඇඳිරි නීතිය නම් බොර දියේ කොයි තරම් නම් දෙනා කොයි තරම් නම් මාළු බානවා ඇද්ද?

ගැමුණු පී. දසනායක
2020-04

No comments:

Post a Comment